Monday, July 13, 2009

අපට මෙයින් මතු ජීවිතයක් ඇත්ද? නැත්ද?

බෞද්ධ දර්ශනයට අනුව නම් බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.එනම් එකල මිනිසුන් කොටස් දෙකක් වාසය කර ඇත.ඇතැම් පිරිසක් විශ්වාස කරගෙන සිට ඇත්තේ ඔවුනට ඇත්තේ මේ ජීවිතය පමනක්ය යන්නය(ශ්වාස්වත දෘෂ්ටිය ).ඇතැම් පිරිසක් විශ්වාස කරගෙන සිට ඇත්තේ ඔවුනට මෙයින් මතුද ජීවිතයක් ඇති බවය( උච්චේද දෘෂ්ටිය ).නමුත් බුදුන් වහන්සේ මෙ දෙකම ප්‍රතික්ෂේප කර ඇත.මේ අනුව බලන කල නම් අපට මේ ජීවිතය හෝ මෙයින් මතු කියා හෝ ජීවිතයක් නැති බවක් හැගී යයි.මන්ද අප මේ ජීවිතය පමනක්යයි සිතන්නේ නම් එය බුදුන් ප්‍රතික්ෂේප කල ශ්වාස්වත දෘෂ්ටියට වැටේ, මෙයින් මතු ද ජීවිතයක් ඇතැයි සිතුවහොත් එයද බුදුන් ප්‍රතික්ෂේප කල උච්චේද දෘෂ්ටියට වැටෙයි.
නමුත් අද බොහෝ බෞද්ධයින් විශ්වාස කරන්නේ මෙලොවින් පසු ජීවිතයක් ඇති බවය. එනම් පුනරුත්පත්තියයි. නමුත් බුදුන්වහන්සේ පුනරුත්පත්තිය ද ප්‍රතික්ෂේප කරයි.ඒ වෙනුවට උන්වහන්සේ දේශනා කලේ පුනර්භවයයි. උන්වහන්සේටද පුනර්භවයක් නැති බව දේශනා කලේ ඒ නිසාය.නැතුව උන්වහන්සේට පුනරුත්පත්තියක් නැති බව දේශනා නොකලේය.( අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ ).එසේ නම් අපට මින් මතු ජීවිතයක් ඇත්ද? මේ ජීවිතය තුල ජීවිතයක් ඇත්ද?
සිතා බැලීම ඔබට බාරය.

Thursday, June 11, 2009

බුදුන් වහන්සේ යනු මනුෂ්‍යයෙක්ද? දෙවියෙක්ද? යක්ෂ්‍යයෙක්ද?

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වඩිනා විට උන් වහන්සේට උපක නම් ආජීවකයා හමු විය.ශාන්ත ගමනින් වඩිනා බුදුන් වහන්සේ දැක මෙම උපක ආජීවකයාට උන්වහන්සේ හඳුනා ගැනීමට සිත් විය.පසුව හඳුනා ගැනීම සඳහා මෙසේ ප්‍රශ්න කිහිපයක් ඇසීය.එනම්,

ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද?
ඔබ වහන්සේ දෙවියෙක්ද?
ඔබ වහන්සේ යක්ෂ්‍යයෙක්ද?

ලෙසය.
නමුත් මෙම ප්‍රශ්න සියල්ලටම බුදු රදුන් පිළිතුරු දුන්නේ මේ ආකාරයටය.

මම මනුෂ්‍යයෙක්ද නොවෙමි? මා මඩෙහිම ඉපිද නමුත් එහි නොගෑවී මඩෙන් ඉහලට ආ නෙළුමක් වැනියයි උදහරණයකින් පැහැදිලි කලේය (තමන් මනුෂ්‍ය සමාජයෙහි ඉපිද ඉන් මිදී සිටින බව පැහැදිලි කරයි. ).ඉතිරි ප්‍රශ්න වලටද එසේම මා දෙවියෙක්ද නොවෙමි. මා යක්ෂ්‍යයෙක්ද නොවෙමි.ලෙස පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරක් ලැබුවද එය නිවැරදිව වටහා නොගත් උපක ඉන් සෑහීමකට පත්ව බුදුන් වහන්සෙට ඔබ සියල්ල ජයගත් යන අර්ථයෙන් යුතුව අනන්තජින යයි නමක් යොදා බුදුන් වහන්සේගෙන් සමු ගත්තේය.
දැන් අපද මෙම ප්‍රශ්නයට දුන් පිළිතුර නිවැරදිව වටහා නොගතහොත් අපද උපක බවට පත්වේ.මෙයයි බුදු දහමේ ආශ්චර්යය.මෙය උපකට පමණක් නොව අපටද අදාලය.බුද්ධ දර්ශනය කාලත්‍රයෙන් තොර වන නිසා මෙම සියලු බුද්ධ වචනය සෑම කාළයකටම වලංගුය.උන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් යමක් ප්‍රකාශ කළේද එය සෑම කල්හි වලංගුය. සෑම කල්හි සත්‍යය.
එසේ නම් බුදු රදුන් යනු කව්ද? යන්න සලකා බැලිය යුතුය.ඉතින් බුදුන් වහන්සේ යනු මනුෂ්‍යයෙකුත් නොවේ නම් දෙවියෙකුත් නොවේ නම් යක්ෂ්‍යයෙකුත් නොවේ නම් උන් වහන්සේ යනු කවරෙක්ද?
අද බොහෝ දෙනා සිතා සිටින්නේ බුදුන් වහන්සේ යනු මනුෂ්‍යයකු ලෙසය.නමුත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ උන් වහන්සේ මනුෂ්‍යකු නොවන බවය.

තවද උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.

එත්ත නාමංච රූපංච
අසේසං උපරුජ්ජති

මෙහි තේරුම නම් උන් වහන්සේ විසින් නාම රූප දෙක ඉතුරු නැතිවම නැති කල බවය.එනම් උන් වහන්සේ යනු නාමයක් හෝ රූපයක් නොවන බවය.එනම් උන් වහන්සේට නාමයකින් ආමන්ත්‍රණය කල නොහැක.මන්ද බුද්ධ දර්ශනය යනු නාම රූප දෙකින් තොර දහමක් බැවිනි.
එසේ නම් උන් වහන්සේ නිවැරදිව හදුනා ගැනීමට නම් අප විසින් මෙම නාම රූප දෙකින් යුතු ධර්මය දැකිය යුතුමය.
එනම් බුදුන් වහන්සේ යනු සත්වයකු හෝ පුද්ගලයකු නොවන බවය.

ඔබටත් එම සත්වයකු පුද්ගලයකුගෙන් තොර ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.

Monday, June 8, 2009

නිර්මල බුදුදහම තුලින් නිවන් දැකීම.

නිවන මේ ජීවිතයෙන් බොහෝ ඈතට දමා එය මෙම ජීවිතය තුල ලබා ගත නොහැකි දෙයක් ලෙස අප චිත්ත සන්තානයන් තුල මුල් බැස තිබූ අවදියක මා හට මෙම ධර්මය ඇසීමට ලැබීමත් මහත් ආශ්චර්යයක් ලෙස මා සිතමි.එය මා හට මෙම ජීවිතය තුල ලැබූ මහඟුම අවස්ථාවක් ලෙසද සලකමි.ඇත්තෙන්ම මෙම ධර්මය අසන විට ලැබෙන සැනසීම මා හට වචනයෙන් විස්තර කල නොහැක.අප සිටින්නේ කෙතරම් වූ මහා ඝන අන්ධකාර මුලාවකදැයි වැටහෙන්නේ මෙම ධර්මය අසන විටය.

මෙම ධර්මය මගින් ලෝකයත් ලෝකනිරෝධයත් මෙම බඹයක් පමණ වූ ශරීරය තුල පෙන්වයි.මෙහිදී බඹයක් යයි කී විට අපට සිහි වන්නේ අඩි 6 ක් පමණ වූ ශරීරයක් ගැනය.නමුත් මෙහි බඹය ලෙස අර්ථ දක්වා ඇත්තේ ඇස,කණ,නාසය,දිව,ශරීරය හා මන යන්නයි.එනම් උසින් අඩි 6 ක් නොවූවද අප සැවොටම මෙම ධර්මය අයත්ය.මන්ද අප සැවොටම ඉහත දක්වා ඇති පන්චේන්ද්‍රිය හා මන ඇති බැවිනි.

ඔබටත් මෙම ධර්මය පහත වෙබ් පිටු වලින් ඩව්න්ලෝඩ් කර හෝ එම මොහොතේම හෝ ශ්‍රවණය කල හැක.

http://satyagaveshi.org/dowenloads.html
http://maitreyabuddhasasana.com/

මෙම ධර්මය මාගේ මෙන්ම ඔබගේද ජීවිතය වෙනස් කරනු නොඅනුමානය.ඔබටත් ජීවිතයේ ඇති යථාර්තය තෙරුම් කර ගත හැකි වනු ඇත.කෙසේ නමුදු මෙම නිර්මල බුදු දහම ලෝක ධාතුව තුල පැතිරී යන්නේ නම් මෙම ලෝකය නිවී සැනසෙනු නොඅනුමනය.

මා විසින් මෙම බ්ලොගය ලිවීමට හේතු වූයේද මෙම ධර්මය බිඳක් හෝ ඔබට දායද කිරීමටය.නමුත් මා කියනා දේවල් තුලින් ඔබට ධර්මය වෙනස් ආකාරයකට වැටහිය හැක.එම නිසා එම ශ්‍රී සද්ධර්මය ඔබටම ඇසීමට සැලැස්වීම වඩා ඵල දායක බව මා හට වැටහිනි.එබැවින් මා මෙසේ ඔබට ආරාධනා කරනුයේ එම ධර්මය ඔබ විසින්ම අසා වටහා ගන්නා ලෙසය.

මන්ද බුදු රදුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ධර්මය "තොප තොපම කර ගත යුතු බවය(තුම්මෙහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගත )."තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වයි යන ලෙසය.

ඔබ සැමටද මෙම ධර්මය තුලින් ශාන්තියක්ම අත් වේවා යන්න මාගේ එකම පැතුමයි.

Thursday, May 28, 2009

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද?

අප අසා ඇත්තේ මෙසේය.වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය.එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.
නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.
මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.

කරණීයමත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච

මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී,මෙසේ කිව හැක.

ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?,හේ මෙසේ කටයුතුය ලෙසය.

එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි.නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.

මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි.එම පද පේලිය මෙසේය.

දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නෝ
කාමෙසු විනෙයියගේදං
නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.

මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.
දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්,දර්ශනයට පත් වෙයි.
පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි(දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී).නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත.ලෙසය.

එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක.එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය.එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක.අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.

අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.

Thursday, May 14, 2009

මෙම ජීවිතය තුලදී බුදුන් දැකිය හැකිද?

මේ ගැන ලියන්නට පටන් ගන්නා විටම මා හට කවියක් මතක් විය.එය සඳහන් කරලාම ලියන්නට පටන් ගත්තොත් හොඳයයි මට සිතුනි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
මිනිසුනි කිම වීරිය නොකරන්නේ

මෙම කවිය දෙස බලන විට පෙනී යන්නේ මෙම සසර දුක් නිවීමට නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතු බවය.එනම්,
1.බුදු කෙනෙකුගෙ පහල වීම.
2.මිනිසකු වී ඉපදීම.
ත් යන කරුනු දෙකය.ඉතින් අප මේ දෙකෙන් එක් කරුණක් නම් හොදින්ම සම්පූර්ණ කරගෙන ඇති බව මේ වන විටත් හොඳින් පසක් කර ගෙන සිටිමු.ඒ නම් මනුෂ්‍යත්වය ලබා ගැනීමය.නමුත් මෙය ලෙහෙසියෙන් ලබා ගත හැකි එකක් නොවන බවද "දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ" යන පද පෙලෙන් පෙනී යයි. එසේ නම් මනුෂ්‍යත්වය ලබා ගැනීම දුර්ලභ කාරණයක් ලෙස සඳහන් කල හැක.
නමුත් බුදුවරයකුගේ පහල වීමක් අපට පෙනෙන්නට නැත.එනම් අපට මෙම සසරින් ගැලවීමක් නැද්ද?
අද අප සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් නිවන පසුවට දමා සිටියි.අපගේ අතැම් ස්වාමීන් වහන්සේලාද පවසන්නේ "දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට හේතු වාසනා වේවා" යයි ආශිර්වාද කරනු ඔබද අසා ඇති.ඉදින් අප මෙම ජීවිතය තුල නිවනක් ගැන කල්පන කිරීමටවත් උත්සුක වන්නෙ නැත.මන්ද එය අපගේ ජීවිත තුලින් ඒ තරම්ම දුරට ඈත් කර ඇත.
නමුත් බුදුරජණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන්ම වක්කලියට දේශනා කලේ "වක්කලිය ඔබට බුදුන් දැකීමට අවශ්‍ය නම් මාගේ ධර්මය දෙස බලන්න(යෝ ධම්මං පස්සති සෝ මං පස්සතී)" ලෙසය.එනම් යමකු බුදුන් වහන්සේගේ ධර්මය දකින්නට උත්සාහ ගන්නේ නම් ඔහුට බුදුන් දැකිය හැකි බව උන් වහන්සේ ප්‍රකාශ කර ඇත.එසේ නම් අපිටද එය එසේම සාධාරණ විය යුතු නොවේද?මන්ද බුද්ධ වචනය අසත්‍යක් විය නොහැකි බැවිනි.
එසේ නම් අපටද නිවැරදිව ධර්මය දකින්නට හැකි නම් මෙම ජීවිතය තුල දීම නිවන් සාක්ෂ්‍යාත් කර ගැනීමට හැකිවනු ඇත.
එසේ නම් මේ ලබා ගත් මනුෂ්‍ය ජීවිතයේ දී නිවැරදිව ධර්මය දෙස බලා සසර ගමන කෙළවර කරන්නට අප උත්සුක විය යුතු නොවේද?මන්ද දැන් අපට බුදු දහමද මිනිසත් බවද ලැබී ඇති හෙයිනි.ඉදින් මෙය තව දුරටත් පසෙකට දමා සසර තව තවත් දික් කර නොගැනීමේ වගකීම ඔබ සතුය.

Wednesday, May 13, 2009

බුදු දහම සහ පන්සිල්

බුදු දහම ගැන කථා කරන විට අපට කථා නොකරම බැරි දෙයකි පන්සිල්.මේ පන්සිල් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද? මේ බව අප විසින් ඉතා ඥාණාන්විතව සොයා බැලිය යුතුය.මෙතෙක් කල් සාම්ප්‍රදායිකව අප විසින් මේ බව සොයා බැලීමකින් තොරව ස්වාමීන් වහන්සේලා අපට කියන බැවින් අපද මෙසේ ගිරවුන් සේ කියයි. නමුත් මෙහි අන්තර්ගතය සැලකුවහොත්,
මම සතුන් නොමරමි,සොරකම් නොකරමි.................. ආදී ලෙස කියමු.නමුත් මේ දෙස බුදුන් වහන්සේ කියූ ධර්මය දෙසින් බලන කල අපට මෙසේ සිල් සමාදන් විය හැකිද? යයි මා හට ඇතිවුනු ප්‍රශ්නයකි.
මන්ද කියතොත් බුදුන් වහන්සේ දෙශනා කරනුයේ මේ ලොව තුල මමය මාගේය කියා දෙයක් නොමැති බවය.ඉතින් මම සතකු මරන්නේ කෙසේද? මේ ලොව තුල මමෙකු නැතිනම් මා විසින් සතකු මරන්නෙ කෙසේදැයි මා හට ඇති වුනු ප්‍රශ්නයකි?
මීට ඔබට විසදුමක් අත්නම් කියනු මැනවි.මන්ද මෙම දහම අවබෝදයෙන් තෙරුම් ගත යුත්තක් බව මා විශ්වාස කරන බැවිනි.

Monday, May 11, 2009

බුද්ධ දර්ශනය හා තදනින්ද


අපගේ ජීවිතය තුල අප අත්විදිනා අවස්ථා 3 ක් ඇත. ඒ වනාහි අප අවදි වී සිටින අවස්ථාව,අප සිහින දකින අවස්ථාව හා තද නින්දේ සිටින අවස්ථාව ලෙසය. තද නින්දේ සිටින අවස්ථාව වනාහි කෙටියෙන්ම කියතොත් අප කිසිවක් නොදන්නා අවස්ථාවයි. එනම් බුද්ධ දර්ශනයට අනුව එය අවිද්‍යාව(කිසිත් නොදන්නා අවස්ථාව ) ලෙස හැඳින්විය හැකිය.

දැන් අප මෙසේ බලමු.

අපගේ ජීවිතය දෙස හැරී බලද්දි ඔබ කිසි දිනක මෙවැනි අවස්ථාවක් ඔබ තුල අතැයි සිහිනෙන්වත් හිතා නැතිවාට සැක නැත. නමුත් එය තුල බුද්ධ දර්ශනයේ එන බොහෝ කරුණු පැහදිලි කල හැක.

බුද්ධ දර්ශනයේ එන ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ මම හෝ මාගේ කියා කිසිවක් මෙම ලොව තුල නැති බවයි.එය තද නින්ද තුලින් බලන කල මොනවට පැහැදිලි වෙයි.මන්ද තද නින්ද තුල මමෙක් සිටීද? ඔබේ යයි,ඔබට අයිතියක් ඇතැයි සිතිය හැකි යමක් එහි තිබේදැයි ඔබටම සිතා බැලිය හැක.අඩුම තරමින් ඔබ ගැනවත් ඔබ යමක් එම අවස්තාවේ දන්නෙහිද? එනම් ඔබ හුස්ම ගන්නා බවක් හෝ ඔබ ජීවත් වන බවක් ඔබ දන්නවාද?

එනම් මෙමගින් අපට සරල දෙයක් පැවසිය හැක.ඒ වනාහි ඔබ තුල ඔබ ගැන කිසිවක් නොදන්නා අවස්ථාවක්(සිහිය නැති) හා ඔබ ගැන ඔබ දන්නවායැයි සිතන(සිහිය ඇති) ලෙස අවස්ථා දෙකක් ඇති බවයි.

දැන් අපගේ දන්නවා යයි සිතන අවස්ථාව දෙස මඳක් හැරී බලමු.

අප මෙහිදී දන්නවා යයි කියනුයේ කුමක්ද?අප අප නින්දෙන් අවදි වූ විට අපගේ ඇස,කණ,නාසය,දිව,ශරීරය යන පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු ගනියි.එම ගන්නා අරමුණු මන තුලින් සිතා බැලීමකට ලක් කරණු ලබයි.එසේ නැත්නම් ඔබ පසුගිය දෙයක් ගැන ඔබේ විඤ්ඤාණයෙන් සිතා බලනු ලබයි.මේ හැරෙන්න ඔබ යම්කිසි දෙයක් ඔබ අවදිවී සිටින විට කරනු ලබයිද? ඔබම සිතා බලන්න.

දැන් ඔබ ලඟ ඇති දැනුම ඔබගේ නොවේ යයි මා පැවසුව හොත් ඔව් එය එසේමය.මේ බව බැලීමට ඔබ ඔබගේ කුඩා කාලය දෙස ඔබගේ සිත් යොමු කල යුතුය. ඔබ කුඩා කලදී ඔබගේ මව,පියා,අ‍යියා හෝ ඔබ ඔබට පෙනෙන,ඔබට ඇසෙන,ඔබට දැනෙන දේ අසා දැන ගත්තේය. පාසල් කාලයේ දී ඔබගේ ගුරුවරුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තේය.විශ්ව විද්‍යාලයේදී ඔබගේ ආචාර්ය වරුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තේය.ඊටත් වඩා යමක් නම් ඔබගේ යහළුවන්ගෙන්,පොත පතෙන්,අන්තර් ජාලයෙන් හෝ තවත් වැඩිහිටියකුගෙන් ඔබ නොදන්නා දේ ඉගෙන ගත්තේය. මෙසේ බලන කල අපගේ ජීවිතය තුල අප දන ගත් දෙයක් අත්නම් එය අනුන්ගේමය. නමුත් අප මෙය නොදැන එම දැනුම අපේ කර ගනුයේය.එය කෙතරම් සාධාරණදැයි ඔබටම සිතා බැලිය හැක.

ඉතින් අනුන්ගේ දැනුමක් අපට අපේ යයි කිව හැකිද?

මෙම හේතුව නිසා අපට මෙම දැනුම ගෙන යා නොහැක.මන්ද එය අපට අයිතියක් නැති හෙයිනි.

අපි නින්දට යන්නේ සිහිය නොමැතිවය.නමුත් එහි ඇති ධර්මතාවය බුද්ධ දර්ශනයට ආසන්නය.මන්ද එහි කෙනෙක් දෙයක් නැත.ඉතින් අපට එම අවස්ථාවේ සිහියෙන් අවදි විය හැකි නම්..........................

මා එය ඔබ ඔබටම සිතා බැලීමට ඉතිරි කරමින් අදට සමු ගනිමි.

මේ ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.