Thursday, May 28, 2009

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද?

අප අසා ඇත්තේ මෙසේය.වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය.එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්‍රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.
නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.
මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.

කරණීයමත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච

මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී,මෙසේ කිව හැක.

ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?,හේ මෙසේ කටයුතුය ලෙසය.

එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි.නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.

මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි.එම පද පේලිය මෙසේය.

දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නෝ
කාමෙසු විනෙයියගේදං
නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.

මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.
දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්,දර්ශනයට පත් වෙයි.
පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි(දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී).නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත.ලෙසය.

එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක.එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය.එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක.අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.

අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.

Thursday, May 14, 2009

මෙම ජීවිතය තුලදී බුදුන් දැකිය හැකිද?

මේ ගැන ලියන්නට පටන් ගන්නා විටම මා හට කවියක් මතක් විය.එය සඳහන් කරලාම ලියන්නට පටන් ගත්තොත් හොඳයයි මට සිතුනි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
මිනිසුනි කිම වීරිය නොකරන්නේ

මෙම කවිය දෙස බලන විට පෙනී යන්නේ මෙම සසර දුක් නිවීමට නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතු බවය.එනම්,
1.බුදු කෙනෙකුගෙ පහල වීම.
2.මිනිසකු වී ඉපදීම.
ත් යන කරුනු දෙකය.ඉතින් අප මේ දෙකෙන් එක් කරුණක් නම් හොදින්ම සම්පූර්ණ කරගෙන ඇති බව මේ වන විටත් හොඳින් පසක් කර ගෙන සිටිමු.ඒ නම් මනුෂ්‍යත්වය ලබා ගැනීමය.නමුත් මෙය ලෙහෙසියෙන් ලබා ගත හැකි එකක් නොවන බවද "දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ" යන පද පෙලෙන් පෙනී යයි. එසේ නම් මනුෂ්‍යත්වය ලබා ගැනීම දුර්ලභ කාරණයක් ලෙස සඳහන් කල හැක.
නමුත් බුදුවරයකුගේ පහල වීමක් අපට පෙනෙන්නට නැත.එනම් අපට මෙම සසරින් ගැලවීමක් නැද්ද?
අද අප සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් නිවන පසුවට දමා සිටියි.අපගේ අතැම් ස්වාමීන් වහන්සේලාද පවසන්නේ "දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට හේතු වාසනා වේවා" යයි ආශිර්වාද කරනු ඔබද අසා ඇති.ඉදින් අප මෙම ජීවිතය තුල නිවනක් ගැන කල්පන කිරීමටවත් උත්සුක වන්නෙ නැත.මන්ද එය අපගේ ජීවිත තුලින් ඒ තරම්ම දුරට ඈත් කර ඇත.
නමුත් බුදුරජණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන්ම වක්කලියට දේශනා කලේ "වක්කලිය ඔබට බුදුන් දැකීමට අවශ්‍ය නම් මාගේ ධර්මය දෙස බලන්න(යෝ ධම්මං පස්සති සෝ මං පස්සතී)" ලෙසය.එනම් යමකු බුදුන් වහන්සේගේ ධර්මය දකින්නට උත්සාහ ගන්නේ නම් ඔහුට බුදුන් දැකිය හැකි බව උන් වහන්සේ ප්‍රකාශ කර ඇත.එසේ නම් අපිටද එය එසේම සාධාරණ විය යුතු නොවේද?මන්ද බුද්ධ වචනය අසත්‍යක් විය නොහැකි බැවිනි.
එසේ නම් අපටද නිවැරදිව ධර්මය දකින්නට හැකි නම් මෙම ජීවිතය තුල දීම නිවන් සාක්ෂ්‍යාත් කර ගැනීමට හැකිවනු ඇත.
එසේ නම් මේ ලබා ගත් මනුෂ්‍ය ජීවිතයේ දී නිවැරදිව ධර්මය දෙස බලා සසර ගමන කෙළවර කරන්නට අප උත්සුක විය යුතු නොවේද?මන්ද දැන් අපට බුදු දහමද මිනිසත් බවද ලැබී ඇති හෙයිනි.ඉදින් මෙය තව දුරටත් පසෙකට දමා සසර තව තවත් දික් කර නොගැනීමේ වගකීම ඔබ සතුය.

Wednesday, May 13, 2009

බුදු දහම සහ පන්සිල්

බුදු දහම ගැන කථා කරන විට අපට කථා නොකරම බැරි දෙයකි පන්සිල්.මේ පන්සිල් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද? මේ බව අප විසින් ඉතා ඥාණාන්විතව සොයා බැලිය යුතුය.මෙතෙක් කල් සාම්ප්‍රදායිකව අප විසින් මේ බව සොයා බැලීමකින් තොරව ස්වාමීන් වහන්සේලා අපට කියන බැවින් අපද මෙසේ ගිරවුන් සේ කියයි. නමුත් මෙහි අන්තර්ගතය සැලකුවහොත්,
මම සතුන් නොමරමි,සොරකම් නොකරමි.................. ආදී ලෙස කියමු.නමුත් මේ දෙස බුදුන් වහන්සේ කියූ ධර්මය දෙසින් බලන කල අපට මෙසේ සිල් සමාදන් විය හැකිද? යයි මා හට ඇතිවුනු ප්‍රශ්නයකි.
මන්ද කියතොත් බුදුන් වහන්සේ දෙශනා කරනුයේ මේ ලොව තුල මමය මාගේය කියා දෙයක් නොමැති බවය.ඉතින් මම සතකු මරන්නේ කෙසේද? මේ ලොව තුල මමෙකු නැතිනම් මා විසින් සතකු මරන්නෙ කෙසේදැයි මා හට ඇති වුනු ප්‍රශ්නයකි?
මීට ඔබට විසදුමක් අත්නම් කියනු මැනවි.මන්ද මෙම දහම අවබෝදයෙන් තෙරුම් ගත යුත්තක් බව මා විශ්වාස කරන බැවිනි.

Monday, May 11, 2009

බුද්ධ දර්ශනය හා තදනින්ද


අපගේ ජීවිතය තුල අප අත්විදිනා අවස්ථා 3 ක් ඇත. ඒ වනාහි අප අවදි වී සිටින අවස්ථාව,අප සිහින දකින අවස්ථාව හා තද නින්දේ සිටින අවස්ථාව ලෙසය. තද නින්දේ සිටින අවස්ථාව වනාහි කෙටියෙන්ම කියතොත් අප කිසිවක් නොදන්නා අවස්ථාවයි. එනම් බුද්ධ දර්ශනයට අනුව එය අවිද්‍යාව(කිසිත් නොදන්නා අවස්ථාව ) ලෙස හැඳින්විය හැකිය.

දැන් අප මෙසේ බලමු.

අපගේ ජීවිතය දෙස හැරී බලද්දි ඔබ කිසි දිනක මෙවැනි අවස්ථාවක් ඔබ තුල අතැයි සිහිනෙන්වත් හිතා නැතිවාට සැක නැත. නමුත් එය තුල බුද්ධ දර්ශනයේ එන බොහෝ කරුණු පැහදිලි කල හැක.

බුද්ධ දර්ශනයේ එන ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ මම හෝ මාගේ කියා කිසිවක් මෙම ලොව තුල නැති බවයි.එය තද නින්ද තුලින් බලන කල මොනවට පැහැදිලි වෙයි.මන්ද තද නින්ද තුල මමෙක් සිටීද? ඔබේ යයි,ඔබට අයිතියක් ඇතැයි සිතිය හැකි යමක් එහි තිබේදැයි ඔබටම සිතා බැලිය හැක.අඩුම තරමින් ඔබ ගැනවත් ඔබ යමක් එම අවස්තාවේ දන්නෙහිද? එනම් ඔබ හුස්ම ගන්නා බවක් හෝ ඔබ ජීවත් වන බවක් ඔබ දන්නවාද?

එනම් මෙමගින් අපට සරල දෙයක් පැවසිය හැක.ඒ වනාහි ඔබ තුල ඔබ ගැන කිසිවක් නොදන්නා අවස්ථාවක්(සිහිය නැති) හා ඔබ ගැන ඔබ දන්නවායැයි සිතන(සිහිය ඇති) ලෙස අවස්ථා දෙකක් ඇති බවයි.

දැන් අපගේ දන්නවා යයි සිතන අවස්ථාව දෙස මඳක් හැරී බලමු.

අප මෙහිදී දන්නවා යයි කියනුයේ කුමක්ද?අප අප නින්දෙන් අවදි වූ විට අපගේ ඇස,කණ,නාසය,දිව,ශරීරය යන පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු ගනියි.එම ගන්නා අරමුණු මන තුලින් සිතා බැලීමකට ලක් කරණු ලබයි.එසේ නැත්නම් ඔබ පසුගිය දෙයක් ගැන ඔබේ විඤ්ඤාණයෙන් සිතා බලනු ලබයි.මේ හැරෙන්න ඔබ යම්කිසි දෙයක් ඔබ අවදිවී සිටින විට කරනු ලබයිද? ඔබම සිතා බලන්න.

දැන් ඔබ ලඟ ඇති දැනුම ඔබගේ නොවේ යයි මා පැවසුව හොත් ඔව් එය එසේමය.මේ බව බැලීමට ඔබ ඔබගේ කුඩා කාලය දෙස ඔබගේ සිත් යොමු කල යුතුය. ඔබ කුඩා කලදී ඔබගේ මව,පියා,අ‍යියා හෝ ඔබ ඔබට පෙනෙන,ඔබට ඇසෙන,ඔබට දැනෙන දේ අසා දැන ගත්තේය. පාසල් කාලයේ දී ඔබගේ ගුරුවරුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තේය.විශ්ව විද්‍යාලයේදී ඔබගේ ආචාර්ය වරුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගත්තේය.ඊටත් වඩා යමක් නම් ඔබගේ යහළුවන්ගෙන්,පොත පතෙන්,අන්තර් ජාලයෙන් හෝ තවත් වැඩිහිටියකුගෙන් ඔබ නොදන්නා දේ ඉගෙන ගත්තේය. මෙසේ බලන කල අපගේ ජීවිතය තුල අප දන ගත් දෙයක් අත්නම් එය අනුන්ගේමය. නමුත් අප මෙය නොදැන එම දැනුම අපේ කර ගනුයේය.එය කෙතරම් සාධාරණදැයි ඔබටම සිතා බැලිය හැක.

ඉතින් අනුන්ගේ දැනුමක් අපට අපේ යයි කිව හැකිද?

මෙම හේතුව නිසා අපට මෙම දැනුම ගෙන යා නොහැක.මන්ද එය අපට අයිතියක් නැති හෙයිනි.

අපි නින්දට යන්නේ සිහිය නොමැතිවය.නමුත් එහි ඇති ධර්මතාවය බුද්ධ දර්ශනයට ආසන්නය.මන්ද එහි කෙනෙක් දෙයක් නැත.ඉතින් අපට එම අවස්ථාවේ සිහියෙන් අවදි විය හැකි නම්..........................

මා එය ඔබ ඔබටම සිතා බැලීමට ඉතිරි කරමින් අදට සමු ගනිමි.

මේ ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.